Contact

Name

Email *

Message *

ලංකාවේ අපේ පොලිසිය

මහජන සාමය හා ආරක්ෂාව සහතික කරලීමෙහිලා පොලිසිය ඉටු කරන සේවය අති මහත්ය.ඒ හේතුව නිසා ශ්‍රී ලාංකියයන්       බොහෝ දෙනා පොලිසියට දක්වන්නේ විශාල ගෞරවයකි.නමුත් මෑත කාලීනව සිදු වූ සිදුවීම් නිසා පොලිසිය සාමාන්‍ය ජන සමාජයේ තිබු ගෞරවය තමන් විසින්ම නැති කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.



පොලිසිය වූ කලී බොහෝ ස්වාධීන විය යුතු ආයතනයකි.ඒ මන්ද යත් ත්‍රිවිධ හමුදාවන්ට වඩා සාමය හා ආරක්ෂාව සහතික කරලීමේදී පොලිසිය මහජනයා සමග සමීපව කටයුතු කරයි.එම නිසා පොලිසිය ස්වාධීන නොවුන හොත් සාමාන්‍ය ජනයාට සාධාරණය සහ යුක්තිය ඉටු නොවේ.ලෝකයේ බොහෝ පොලිසි අතර ලංකාවේ පොලිසියට ඇති විශාලතම විවේචනය මෙය වෙයි.ලංකාවේ පොලිසිය බොහෝ විට උස් තැන් දැක හැකිලෙන බව කවුරුත් දනිති.ඒ කුමක් නිසා දැයි කිසිවෙකු නොදනී.අභිමානයකින් යුතුව නීතියට ගෞරව කරමින් කටයුතු කිරීම පොලිස් නිලධාරියෙකු තුලින් බලාපොරොත්තු වුනද අද බොහෝ නිලධාරින් තම වෘතිය ගෞරවය පසෙකලා විවිධ ධනවතුන්,බලවතුන්ගේ අතකොලු බවට පත්ව තිබේ.මුදලට බලයට කෑදරව තමන් විසින් සිදු කරන කාර්යයන් නිසා විනාශ වන්නේ තම වෘතිය ගෞරවය බව ඔවුන් කිසි දිනෙක නොසිතනවා ඇත.



ලංකාවේ ප්‍රාදේශීය මට්ටමෙන් වන බොහෝ දුරාචාර වලට පොලිසියේ සහය ලැබෙන බව බොහෝ දෙනෙකු දනිති.එම හේතුව නිසාම ප්‍රාදේශීය දේශපාලකයින් විවිධ අපරාධ දුෂණ සිදු කරන්නන් නීති විරෝධී කටයුතු වල නියැලෙන්නන් පොලිස් නිලධාරින් මතත් පොලිස් නිලධාරීන් ඔවුන් මතත් යැපෙමින් කටයුතු කරන බව බොහෝ දෙනෙක් දනී.මෙම අර්බුධය පිලිබඳ සලකා බැලීමේදී මෙවැනි අවස්තාවලදී පොලිස් නිලධාරීන් අසරණ වන බව අපි දනිමු.ප්‍රාදේශීය බලවතුන්ගේ අවශ්‍යතා ඉටු නොකරන්නන් හට උරුම වන්නේ දුෂ්කර ප්‍රදේශ වලට මාරු වීම් බවට ලංකා ඉතිහාසයේ ඕනා තරම් සාක්ෂි තිබේ.එම නිසා සිය අඹු දරුවන් ගැන සිතා බලවතුන්ගේ සිතැඟි ඉටු කරලීමට බොහෝ පොලිස් නිලධාරීන් පෙළඹෙති.මෙය පොලිස් සේවයට පමණක් සීමා නොවූ සමාජ යතාර්තයකි.නමුත් ඕනෑම වෘතියක කටයුතු කිරීමේදී අනෙක් සියලුම බලපෑම් වලට වඩා තමන්ගේ හර්ද සාක්ෂිය තුලින් සිදු කරන බලපෑමට සවන් දීම අප බලාපොරොත්තු වන්නෙමු.එසේත් නොමැති නම් තම වගකීම් අතහැර පොලිස් සේවයෙන් ඉවත් වීය යුතුය.



අනෙක් ගැටලුව වන්නේ අල්ලස් හා දුෂණය යන කාරණයයි.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව මෙම අංශය තුලදී ඉහලින්ම සිටින බව කොයි කවුරුත් දනිති.බොහෝ විට රිය පාලක පොලිස් නිලධාරින් විසින් සාමාන්‍ය ජනතාවගෙන් ලබා ගන්නා අල්ලස සමාජයේ අවඥාවට ලක් වී අවසානය.නිල තල භේදයකින් තොරව විවිධ මට්ටම් වල සිටිනා පොලිස් නිලධාරින් තමන්ට හිමි බලයට සමානුපාතිකව ලබා ගන්නා අල්ලස තීරණය කරනු ඇත.පහල පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාවගෙන් අල්ලස ලබා ගන්නා විට ඉහල නිලධාරීන් දේශපාලකයින්,ව්‍යාපාරිකයින් වැනි සමාජයේ ධනවතුන්ගේ සන්තෝසම්,ආධාර මුදල්,වරදාන,වරප්‍රසාද ඉදිරියේ තම වෘතීය ගෞරවය නැමති සළුව ලිහා නිරුවත් වෙන්නේ කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නොමැතිවය.වර්තමානය වන විට අල්ලස ලබා ගැනීමට එහා ගොස් අල්ලස මංකොල්ලා කෑම දක්වා දුර දිග ගොස් ඇත.මන්ද යත් දැන් වන විට රිය පාලක පොලිස් නිලධාරියෙකුට යම් කිසි මුදලක් ලබා දී ප්‍රශ්නය ගොඩින් විසදා නොගත හොත් වරදට නියමිත දඩය දෙගුණ වෙයි.සමහර විට අධිකරණට වාර්තාකර රස්තියාදු වීමටද සිදු වෙයි.පොදු ප්‍රවාහන සේවයක් වශයෙන් පෞද්ගලික බස් රථ වල ගමන් ගන්නා පොලිස් නිලධාරීන් ඒ සඳහා ගෙවිය යුතු මුදල ගෙවා ටිකට් පතක් ලබා ගැනීමට තියා ඔවුන්ට එවැනි හැගීමක් වත් පහල වන්නේ නැති තරම්ය.මෙම අල්ලස් ක්‍රමය සෑම අංශයකටම විහිදී පවතී.එයට හොඳම නිදසුන වන්නේ “පොලිස් කොත්තුවයි”.ආපන ශාලා වලින් රාත්‍රී ආහාරය පිනට ලබා ගැනීමට එන පොලිස් නිලධාරීන් හට ලබා දෙන කොත්තුව “පොලිස් කොත්තුවයි”.අනෙක් පාරිභෝගිකයන් ආහාරයට ගෙන තමන්ගේ පිගන් වල ඉතිරු කරනා කොත්තු කොටස් එක් කර හොදි දමා රත් කර ලබා දෙන පොලිස් කොත්තුව පොලිස් නිලධාරින් තලු මරන්නේ මේ කිසිවක් නොදැනය.මෙමගින් පෙනී යන්නේ පොලිස් නිලධාරීන්ගේ මේ ක්‍රියාව කොතරම් දුරට ආපන ශාලා හිමියන්ට කරදරයක් වී ඇත්ද යන්නයි.නීතිය රකින්නට එන මෙවැනි නිලධාරීන් පිලිබඳ අපට සිතෙන්නේ අඩුම තරමින් නීතිය තියා “ආයතනික සංග්‍රහය” වත් හරි හැටි කියවා නොතිබෙන බවක්ය.



පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිතා කිරීම අපද බොහෝ අවස්ථාවල අත් විඳ ඇති කාරණයකි.සමහර පුද්ගලයින් පොලිස් සේවයට පත් වූ විට සිතන්නේ ඔවුන් ලයිසන් ඇති චන්ඩියන් කියාය.නමුත් සාමාන්‍ය වැසියෙකුට වඩා ඔවුන් කොතෙක් දුරට නීතිගරුක විය යුතුද කියා ඔවුන් තරයේ සිහියේ තබා ගත යුතුය.මෑත කාලයේදී බලය අයුතු ලෙස භාවිතා කල සිද්ධීන් වාර්තා වූ ප්‍රමාණය අති විශාලය.ඒ අතර D.I.G. වාස් ගුණසේකරගේ සිද්ධිය ප්‍රධානය.ඔහු සිය බලය කුලියට මිනී මැරීම සඳහා යොදාගෙන තිබිණි.එම කටයුත්තට තමන් යටතේ සිටි අනෙක් පොලිස් නිලධාරීන්ද සහභාගී කරගෙන තිබිණි.තවත් සිද්ධියක් වන්නේ මෑතකදී පොලිස් නිලධාරියෙකු සිය රිවොල්වරයෙන් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමයි.එම සිද්ධිය පිලිබඳ වීඩියෝව අප මාධ්‍ය තුලින් නැරඹුවෙමු.ආයුධ පෙන්නන්නට ගොස් පොලිසියට වෙඩි තැබීමට උත්සහා කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වීමට සිදු වීම වර්තමානය වන විට වරදකරුවන් වීමට ඉන්නා පුද්ගලයන්ට අත් වන අඳුරු ඉරණමයි. තවද පොලිස් අත්අඩංගුවේදී පහර කෑම් වලට ලක් වූ අය ඕනා තරම් සිටී.වර්තමානය වන විට තරුණ තරුණියන්ට ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමට නොහැක.ඔවුන්ව පොලිසියට ගෙන ගොස් දෙමවුපියන් ගේනවා දැඩි ලෙස අවවාද කරමින් අසරණභාවයට ලක් කිරීමෙන් සමහර පොලිස් නිලධාරීන් කාලකන්නි සතුටක් ලබති.කුමන බලයක් යටතේ පොලිසිය මෙවැනි කටයුතු කරනවා දැයි නොදනිමු.සමහර පොලිස් නිලධාරීන්ගේ අත්තනෝමතික වැඩ නිසා තමන්ට රාජකාරිය එපා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෑතකදී ප්‍රකාශ කළා මතකය.බොරු හේතු ඉදිරිපත් කරමින් අධිකරණය ඉදිරියේ නඩු පවරමින් අහිංසකයින් වැරදි කරුවන් කරන්නට එපා යැයි අධිකරණය විසින් පොලිසියට මෑතකදී අවවාද කළා මතකය.තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් යුධ පෙන්නන්නට යන අපරාධ කරුවන්ට අත්වන ඉරණම ගැන පොලිසියෙන් විමසුවා මතකය.මේවා සිහිවන විට තව දුරටත් පොලිසිය සිය බලයට මුවා වී සිදු කරනා මේ නීති විරෝදී ක්‍රියාවන් නිසා ජනතාව ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසිය විහිළුවක් වී ඇති බවට සාක්ෂි සපයන බව සිතේ.



මේවා පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිතා කරනවා යන්නට උදාහරණයන්ය.තවත් බොහෝ උදාහරණ අපිට සොයා ගත හැක.සමාජයේ පැතිරී තිබෙන මතය වන්නේ පොලිසිය සිය රාජකාරිය ඉටු කරලීමේදී දුප්පත් පොහොසත්,බලය ඇති සහ බලය නැති ලෙස සමාජයේ ඉහල හා පහල පන්ති දෙකට ආකාර දෙකකට සලකන බවය.සුපොඛභෝගී වාහන වල සංසරණය වන අවි ආයුධ මත්ද්‍රව්‍ය ගණිකාවන් වැනි දා පරික්ෂා කර අත් අඩංගුවට ගැනීමට තරම් සමහර පොලිස් නිලධාරීන්ට පෞර්ෂයක් නැත.ඔවුන් තමන්ගේ බලය පෙන්නන්නේ ග්‍රාමීය මට්ටමේ අහිංසක ජනතාවට පමණි.බොහෝ නිලධාරීන් තම ටාර්ගට් කවර කර ගැනීමට අහිංසකයින් මත නැති නඩු පවරයි.එකී මෙකී නොකී කොතෙක් වැරදි තිබුනද ලාංකීය ජනතාව බලාපොරොත්තු වන්නේ නීතිගරුක පොලිස් සේවයකි.එවැනි පොලිස් සේවයක් ඇති කරලීමට නම් කල යුත්තේ ලක්ෂ ගණන් වටිනා යතුරු පැදි බෙදා දීම හෝ වැරදි කරනා පොලිස් නිලධාරීන් ජනතාව ඉදිරියේ සුදු හුණු ගෑම හෝ නොවේ.ස්වාධීන් පොලිස්  කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් පොලිස් සේවයේ පත් කිරීම,උසස් කිරීම විනය පරීක්ෂණ සහ ඉවත් කිරීම ස්වාධීන ලෙස සිදු කල යුතුය.සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ට පමණක් උසස්වීම් ලබා දිය යුතුය.මෙවැනි කරුණු කෙරෙහි දේශපාලන ඇඟිලි ගැසීම් නැති කල යුතුය.තවද ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් කිලෝමීටරයක්වත් එක දිගට දිව යාමට හැකි තරම් ශරීර යෝග්‍යතාවයකින් යුතු පුද්ගලයින් නොවේ.මෙවැනි තත්වයක් තුලදී පොලිසිය විසින් අපරාධකරුවන් පසුපස ලුහුබැද ගොස් ඔවුන් හා සටන් කොට අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීමක් ජනතාව පොලිසියෙන් කෙසේ බලාපොරාත්තු වන්නද?පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දුන් දින සිට මේ වනතෙක් යතුරුපැදි වලින් හඹා ගොස් අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවක් නම් අපි කිසි දිනක අසා නැත.එවැනි තත්වයක් තුල පොලිස් නිලධාරීන්ට ලක්ෂ 30ක් වටිනා අශ්ව බල 600යේ යතුරුපැදි ලබා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයට නැගේ.එම මුදල් වලින් පොලිස් සේවයේ දියුණුවට ඉටු කිරීමට තිබු වෙනත් සාධනීය පියවර නොතිබුණේද?මෙවැනි පල රහිත ක්‍රියා වලින් විනාශ වන්නේ මහජන මුදල් බැවින් ඔබේ අනාගත දු දරුවන් ගැන සිතා හෝ මෙවැනි අමන තීරණ නොගන්න යැයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලමු.එසේ නොමැති වුව හොත් පොලිස් නිලධාරියෙකුට ඇති ගෞරවය හොන්ඩා යතුරු පැදියට හා රිවොල්වරයට පමණක් සීමා වනු ඇත.එවැනි විටකදී පොලිස් නිලධාරියෙකු දුටු විට කොස්තාපල් පුඥ්ඥසෝම සිහිවනු නොවැලක්විය හැකි වන්නේය.



අප බලාපොරොත්තු වන්නේ නීතිගරුක ශක්තිමත් පොලිස් සේවයකි.එවැනි පොලිස් සේවයක් තුලින් සාධාරණය ඉෂ්ඨ වන්නේ අපටමය.මෙම දෝෂාරෝපණය සියලුම පොලිස් නිලධාරීන් වෙත නොවේ.හර්ද සාක්ෂියට එකඟව නීතියට අනුකුලව සිය සේවය ඉටු කරන පොලිස් නිලධාරීන්ද සිටිති.අපි ඔවුන්ට ගරු කරමු.අනෙක් පොලිස් නිලධාරීන්ට කියන්නට ඇත්තේ පොලිස් සේවයේ පවතින සියලුම ගැටළු වලට උත්තර සැපයීමට ඔබට නොහැක.අපි එය දනිමු.නමුත් ඔබට හර්ද සාක්ෂියට එකඟව රැකියාව ඉෂ්ඨ කල හැකිය.එම නිසා වගකීමෙන් යුතුව සිය රැකියාව ඉෂ්ට කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.මේ නීතිගරුක ශක්තිමත් පොලිස් සේවයක් බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුගේ හඬයි.




අද පිටපත මිස්ටර් සබන් බොලේ

Categories:

Leave a Reply