Contact

Name

Email *

Message *

කුණුත් එක්ක ගෑනිත් ගෙනත් දාපිය

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙමින් පවතී.මං මාවත් පුළුල්ය.එදා මං මාවත් අසල තිබු කසල ගොඩවල් අද පෙනෙන්නට නැත.අහස උසට නැගුනු ගොඩනැගිලිය.කොන්ක්‍රීට් වනාන්තරයට හරිත පැහැය එක් කිරීමටද බොහෝ මහන්සි වෙනු දැකිය හැකිය.සම්මන්ත්‍රණ ශාලා,තට්ටු නිවාස,බස් නැවතුම්පළවල්,රඟහලවල්,දුම්රිය මාර්ග මේ සෑම අංශයක්ම සංවර්ධනය වෙමින් පවතී.නමුත් මේ සංවර්ධනය පිළිගන්නට තරම් මහජනතාවගේ ආධ්‍යාත්මය සුදානම් නැති හැඩක් පෙනී යයි.


තවමත් දිරාපත් නොවන කලි කසල මහත් ගැටළුවක් වී තිබේ.මෙම කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම උදෙසා පළාත් මට්ටමින්ද මධ්‍යම ආණ්ඩුව මගින්ද විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් පවතී.මේවායේ සාර්ථකත්වය කොපමණදැයි නිශ්චය කිරීම අපහසුය.මන්ද යත් කුණු එකතු කරනා ස්ථාන වල තිබෙන්නා වූ කුණු කඳු තවමත් එලෙසමය.කලින් කලට ඩෙංගු උවදුර හිස ඔසවයි.ඩෙංගු නිට්ටාවටම විනාශ කර දමන්නට අප අසමත් වී නැත.සිය ගණන් ජනතාව මිය යද්දී දහස් ගණන් ජනතාව දුක් පීඩා විදින්නේ අපේම වරදිනි.මේ සම්භන්ධයෙන් වැය වන මුදල් රජය විසින් අය කරගනු ලබන්නේ මහජනතාවගෙනි.එම නිසා කුණු නියමිත ස්ථාන වලට පමණක් බැහැර කිරීමත් හැකි සෑම අවස්ථාවකම පොලිතීන් වෙනුවට දීරාපත් වන ද්‍රව්‍ය භාවිතයට ගැනීමත් නිසා මහජනතාවට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු නොවනුමානය.රජය විසින් ක්‍රියාත්මක කරන ලද පොලිතින් කවර වෙනුවට රෙදි කවර භාවිතා කිරීම මෙන්ම දිරාපත් නොවන බත් කොළ වෙනුවට දිරාපත් වන බත් කොළ භාවිත කිරීමට ජනතාව උනන්දු කරවීමේ වැඩසටහන් අසාර්ථක වීමෙන් පෙනී යන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනතාවගේ සහය නොලැබීම මිස අන් කවරක්ද?


මග තොටේදී කුණු කසල බැහැර කිරීමට ශ්‍රී ලාංකිකයින් තරම් සමතුන් ලොව කුමන රටකවත් නැති මට සිතේ.ටොපි කොලයක්,රට කජු පොතු ටිකක්,චුයින්ගම් කොලයක් සොයා ගන්නට බැරි බස් රථ අද නැත.සෑම පාරක් දෙපසම කුණු ගොඩවල් දක්නට ලැබේ ගංගා ,වැවු,විල් ,දොළ පාරවල් මෙන්ම සංචාරකයන් ගැවසෙන වෙරළවල් වලද කුණු කසල දමා යන ශ්‍රී ලාංකිකයින් සුලබය.සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කර ගන්නට සිහින දකින අපි වගේ රටකට මෙය එතරම් සුභ දායක නොවනු ඇත.ශ්‍රී පාද සමය ආරම්භ වන විටම පොලීසිය මගින් හා වෙනත් පරිසර ආරක්ෂක සංවිධාන වලින් මෙන්ම විහාරආධිපති හිමියන් විසින්ද දැනුවත් කරන්නේ සමනල රක්ෂිතයට පොලිතින් නොදමන ලෙසයි. එහෙත් අවාසනාවට කරුණ වන්නේ වන්දනා සමය අවසානයේ එම ප්‍රදේශය පිරිසිදු කිරීමට වෙනමම පිරිසක් යෙදවීමට සිදු වීමයි.මහනුවර දළදා පෙරහැර,කතරගම පුජා සමයේදීද දක්නට ලැබෙන්නේ මෙවන්ම වාතාවරණයකි.


කුණු බැහැර කිරීම සම්භන්දයෙන් ඉතා රසවත් කියමන්ද අසන්නට ලැබේ.යම් මාර්ගයක් අසල කුණු දැමීම නිසා කුණු ගොඩ ගැසී දුර්ගන්ධයක් හමයි නම්,එය අසල් වාසීන්ට කරදරයක් වන අවස්තාවක පළමුව නිවැසියකු විසින් "මෙම ස්ථානයේ කුණු දමන්නට එපා"යැයි සඳහන් කරමින් පුවරුවක් එල්ලයි.ඒත් එම ස්ථානයේ කුණු දමයි නම් අසල්වැසියන් විසින් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් වරයා හෝ පොලිස් පරිසර ආරක්ෂක ඒකකය විසින් "මෙහි කුණු දැමීම දඩුවම් ලැබිය හැකි වරදකි" යනුවෙන් පුවරුවක් එල්ලයි.එහෙත් කුණු දැමීම ඉවර නොවන තැන "මෙහි කුණු දැමීම බල්ලන්ට පමනයි " යනුවෙන් පුවරුවක් එල්ලීමට ලහම ඇති නිවසේ නිවසියාට සිදුවනු ඇත.එයද ප්‍රමාණවත් නොවන බව දැනුනු  විට අන්තිම තුරුම්පුව ලෙස " කුණුත් එක්ක ගෑනිත් ගෙනත් දාපිය" යයි කියන අවස්ථාද දක්නට ලැබේ. කෙසේ නමුත් මෙය නවතින්නේ නැත.අපේ මිනිසුන්ට උවමනා වන්නේ රටට හෙන ගසා ගියත් තමන් රැකෙන්නටය.එම නිසා තමන්ගේ කුණු තමන්ගේ වත්තේ නොතබා අසල තිබෙන්නා වූ පොදු ස්ථානයට ගෙන ගොස් දමයි.මෙය ජාතකයේ මිස අන් කවර වැරද්දක්ද?


මෙම ගැටලුව සමාජයේ මේ මේ සමාජ කණ්ඩායම හා බැදී පවතින්නක් යයි කිව නොහැක.උගත් යයි සලකන විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ සිට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වූ පුද්ගලයා දක්වා මේ අමන ක්‍රියාවට සම්මාදන් වෙයි.සුපොගබෝගී වාහන වලින් පැමිණ කුණු දමා යන මහත්වරුන් යයි කියා ගන්නා පුද්ගලයින් කොතෙකුත් අපි මාධ්‍ය මගින් දැක ඇත.ඒ නිසා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලුම දෙනා මෙම උභතෝකෝටික ප්‍රශ්නයට හේතුකාරක වී ඇත.


අද අප විසින් පරිහරණය කරන්නා වූ පරිසරය අපේ දරුවන්ටද උරුම කර දීම අපේ යුතුකම නොවන්නේද?හොදම දේ දරුවන්ටයි කියා කීවද මේ ලස්සන ශ්‍රී ලංකාව අපවිත්‍ර කරමින් අප දරුවන්ට උරුම කරන්නේ කුමක්ද?ඒ නිසා තමන් ගමන් බිමන් යන විට භාවිතා කරන අප ද්‍රව්‍ය නියමිත් ස්ථාන වලට බැහැර කරන්න.මේවා නීති මගින් ඉටු කරනවාට වඩා ජනතාවගේම ස්වයං පෙළඹ වීමෙන් සිදු කිරීම අගනේය.අන් අයෙකු කරන තුරු බලා නොසිට ඔබ අද සිටම ආරම්භ කරන්න.ඔබේ හිත මිතුරන්ටද මේ බව කියා දෙන්න.ඔබ කරනා පුංචි කැප කිරීමකින් සමාජයේ විශාල වෙනසක් සිදු කිරීමට ඔබ සමත් වනු ඇත.සියලු දෙනාම ප්‍රතිපත්තිගරුක වුවහොත් මේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය නොව ලෝකයේම ආශ්චර්ය වන දින වැඩි ඈතක නොවේ.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ


Categories:

One Response so far.

  1. අඩේ කොයි බන් මේකේ ෆලෝ බට්න් එක? මේ වර්ඩ් වෙරිෆිකේෂන් එකත් අයින් කරහන්

Leave a Reply