Contact

Name

Email *

Message *

අයිස් බකට්ටුවෙන් නා ගැනීම


ALS Ice bucket challenge එක මේ දවස් වල ලෝකේ පුරාම ජනප්‍රිය සෙල්ලමක්.කොහොම උනත් ලෝකෙම ඉන්න මිනිස්සු එකම හේතුවක් නිසා නා ගන්නවා.මේ අතරෙ තවත් කට්ටියක් අනා ගන්නවා.බිල් ගේට්ස්ගේ ඉදලා ගෙදරට හොරෙන් ෆෝන් එකෙන් ෆේස්බුක් එන ඉස්කොලෙ යන  දරුවාගේ ඉදන් මේ සෙල්ලම කරනවා.ලංකාවෙත් හුගක් ජනප්‍රිය අය මේක කළා.හුගක් මීඩියා වලින් මේක මාර්කට් කළා.කොහොම උනත් මේකට බනින අයත් ඉන්නවා.පිට රටවල් ගැන නම් මම දන්නේ නැහැ එත් ලංකාවෙත් මේකට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.ඉතින් මේ හදන්නේ මේ අයිස් බකට් කතන්දරේ සබනගේ බාසාවෙන් කියන්න.


කොහොමත් මිනිස්සු කැමතියිනේ සතුටින් ඉන්න.මිනිස් ජීවිතේ ගොඩක් වෙලාවට එක එක දේවල් කරලා මිනිස්සු සතුටු වෙනවා.එක එක කාල වලට එක එක දේවල් එනවා.මේ කාලේ ආපු දේ තමා අයිස් බකට් එක.මුලින්ම අපි මේකේ ඉතිහාසය පොඩ්ඩක් දැනගමු.අයිස් බකට් චැලේන්ජ් එක කියන්නේ ඇමරිකාවේ තියෙන ALS කියන සංවිධානයේ අරමුදල් එක් රැස් කරන්න හදපු වැඩ පිළිවෙලක්.මේ සංවිධානේ සල්ලි යන්නේ ලෝකයේම සිටින නියුරෝන රෝගීන් වෙනුවෙන් පිහිටවපු අරමුදලකට.මේ අයිස් බකට් කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කලේ Corey Griffin කියලා කෙනෙක්.ඉතින් කවුරු හරි  කෙනෙක්ට අයිස් බකට් චැලේන්ජ් එක ආවොත් එයාට සිද්ධ වෙනවා පැය 24ක් ඇතුලත අයිස් වතුර තියෙන එහෙමත් නැත්නම් සීතල වතුර තියෙන වතුර බාල්දියක් ඇඟට හලාගන්න වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ ඩොලර් 10ක් ALS අරමුදලට දාන්න සහ තව තුන් දෙනෙක්ට මේ අභියෝගය භාර දෙන්න එයාට පුළුවන්.එහෙම කරන්න බැරි උනොත් එයාට සිද්ධ වෙනවා ඩොලර් 100ක් ALS අරමුදලට දාන්න.ඔන්න ඕකයි කතන්දරේ

ඉතින් මේ වැඩේ ලංකාවේ බොහොම ජනප්‍රිය අය කළා.භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්,ඔටාරා ගුණවර්ධන,මල්ෂා කුමාරණතුංග,හිරුනිකා ප්‍රේමචන්ද්‍ර,චතුර අල්විස්,මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර  ඔන්න ඔය වගේ සෑහෙන්න පිරිසක් කළා.ඔය අයගේ අවෑමෙන් අන්තර්ජාලය පාවිච්චි කරන තරුණ තරුනියොත් මේක කළා.කට්ටියම හොදට නාගත්තා වගේම ALS අරමුදලට සල්ලිත් දැම්මා නම් තමා හොද.

හරි කොහොම උනත් හුගක් කට්ටිය මේකට බනිනවනෙ.මම මේක ලියන්නත් හේතුව ඒකම තමා.ඉතින් ඔන්න පටන් ගමු වැඩේ.ඇයි කට්ටිය මේකට බනින්නේ?

පලවෙනි කාරණේ කට්ටියක් කියනවා ගොන්නු වගේ පිට රට වලින් එන හැම දෙයක්ම අනුකරණය කරනවා කියලා.මම පුංචි දෙයක් අහන්න කැමතියි ඒ අයගෙන්.අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ ඔයාලා කාවවත් අනුකරණය නොකර කරපු එක දෙයක් මට කියන්න.එහෙම දේවල් නැහැ.සමහර විට බොහොම කලාතුරකින් එකක් දෙකක් තියෙන්න පුළුවන්.අපි ඉපදිච්ච දවසේ ඉදලා කලේ අනුකරණය කරපු එක.පුංචි කාලේ ඉදලම අපි අම්මව තාත්තව අනුකරණය කළා.අපේ අම්මලා තාත්තලා අතින් කන නිසා තමයි අපිත් අතින් කන්න පුරුදු උනේ.බටගිර ළමයිගේ අම්මලා තාත්තලා හැඳි ගෑරුප්පු වලින් කාපු නිසා තමා එයාලා ඒවා පාවිච්චි කරන්නේ කෑම කන්න.හිතලා බලන්න අපේ මිනිස්සු කලිසම් ඇන්දද?අපි පිට රටක් අනුකරණය කරලා කලිසමක් ඇඳගෙන කියනවා පිට රටවල් අනුකරණය කරන්න එපාලු.ලැජ්ජයි නේ?මේ ගැන මම දිගටම කතා කරන්නේ නැහැ.මම මුලින් ඇහුව ප්‍රශ්නේ ඔයාලා කල්පනා කරන්නකෝ එතකොට අනුකරණය කියන එක කොච්චර දුරට මේ ලෝකේ වෙනවද කියන එක තේරේවි.ඔයාලා කාවවත් අනුකරණය නොකර කරපු දේවල් මොනවද?


මම නම් හිතන්නේ හොඳ දේවල් අනුකරණය කිරීම ප්‍රශ්නයක් නැහැ.නරක දෙයක් අනුකරණය කලොත් තමා සමාජයටත් තමන්ටත් ප්‍රශ්නයක් වෙන්නේ.ඉතින් මේ ALS Ice bucket challenge එකේ කිසිම නරකක් මට නම් පේන්නේ නැහැ.

දෙවෙනි කාරණය සමහර අය කියන්නේ අයිස් වතුර නෑම අභියෝගයක් වන්නේ සීත රටවලට කියලා සමකය ආසන්න ලංකාව වැනි උෂ්ණත්වය වැඩි රටවල් වලට අයිස් වතුර නෑම සනීපයක් කියලා.ඉතින් බලන්නකෝ සීතල රටවල අය සමාජ සත්කාරයකට සල්ලි එකතු කරන්න අභියෝග භාර දෙනවා.ලංකාවේ මිනිස්සු කිසිම අභියෝගයක් නැතුවම සමාජ සත්කාරේට උදවු වෙලා.(ඉතින් මේ කියන්නේ සීතල වතුරෙන් නෑවා වගේම ALS එකට සල්ලි දාපු ඇය ගැන.) ඒ අතින් බලනකොට ලංකාවේ මිනිස්සු පිට රට අයට වඩා පරිත්‍යාගශීලීනේ.සල්ලි නොදා නාපු අයත් අඩුම තරමේ මේ සමාජ සත්කාරයට අනිත් අයගේ අවධානය දිනා ගන්න හරි උදවුවක් උනානේ.

අනිත් කාරණේ මේක තමයි හොදම එක. ALS Ice bucket challenge එකට බනින තව හේතුවක් තමයි.ලංකාවේ නියගයෙන් පීඩා විදින අය ඉදිද්දී,රජරට වකුගඩු රෝගීන් ඉදිද්දී කට්ටිය අයිස් වතුර නානවා කියලා.දැන් ඉතින් ඔහොම කියන හුගක් අයට රජරට වකුගඩු රෝගීන් ටිකයි,අනුරාධපුරේ නියගෙන් පීඩා විදින අයයි මතක් උනේ ALS Ice bucket challenge එකෙන් පස්සේ කියන එක තමයි දුක.ඔච්චරටම කියවන අය රජරට, අනුරාධපුරේ අපේ මිනිස්සුන්ට කලේ මොනවද දන්නේ නැහැ.අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි "බුරන බල්ලා හපා නොකයි" කියලා.ඒ වගේ තමයි හුගක් කියවන අයගේ වැඩ නෑ.සද්දේ විතරයි.හැමදේටම විරුද්ධවෙන හැමදේටම බෑ කියන කට්ටිය මේකටත් උම්බෑ කියලා.එච්චරයි මට නම් හිතෙන්නේ.

කොහොම උනත් ලංකාවේ අයට යමක් කරනවා නම් ඒක පිට රටක අයට කරනවට වඩා වටිනවා තමයි.ඒ නිසා තමයි තිස් වසරක් තිබුණු යුද්දෙන් අපිව බේරගත්ත ඒ වෙනුවෙන් තමන්ගේ ඇස්,ඉස්,මස්,ලේ කැප කරපු ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු සෙවනේ පවත්වන්නට සුදානම් වෙන වැඩ සටහනට අරමුදල් එකතු කරගන්න We Are O2 කට්ටිය මේ දවස්වල අයිස් බකට් නාන්නේ ඒ වගේම උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ හර්ද රෝග පරික්ෂා කිරීමට උපකරණයක් පරිත්‍යාග කරන්න කොච්චි මිරිස් චැලේන්ජ් එක කරනවා.මේ ලංකාවේ අය අපේ රටේ මිනිස්සුන්ට උදවු කරන්න මේ සංකල්පය යොදා ගත්ත හැටි.


මේ වගේම ඉන්දියාවේ මේ දවස් වල Rice Bucket Challenge එක කරනවා.ඉන්දියාව කියන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන් පිරුණු රටක්නේ ඉතින් ඒ රටේ මිනිස්සු තමන්ට පුළුවන් හැටියට බත් හෝ හාල් භාජනයක් දුප්පත් මිනිස්සුන්ට දීලා එකේ ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකට දානවා.ඊට පස්සේ එයා අභියෝගය බාර දෙන අයත් ඒකම කරනවා.තව ගාසා තීරය පැත්තේ මේ දවස්වල යුද්දේ. ඉතින් පලස්තීන වැසියෝ කරන්නේ යුද්දේ මෝටාර් වලින් කුඩු උන පස් ගල් වගේ සුන් බුන් එකතු කරලා බාල්දියකට දාලා ඒක කොච්චර අනිත් අයට දැනෙනවද කියල පෙන්නන්න ඇඟට හලා ගන්නවලු.මේ විදියට පලස්තීනේ අය යුද්ධයේ වේදනාව පෙන්නන්න අයිස් බකට් චැලේන්ජ් එක කරනවා.

ඉතින් ලෝකේ එක එක රටවල ඇය එක එක විදියට මේ අභියෝගය කරනවා.ලංකාවෙත් එහෙමයි කියලා දැන් ඔයාලා දන්නවා.භාතිය සන්තුශ් ලා කුෂාන් ශ්‍රීමාල් ලා මේ හැම කෙනෙක්ම මේ අයිස් බකට් චැලේන්ජ් එක භාර ගත්තේ ලොකු ආදර්ශයක් රටට දීලා.ඉතින් මේකට බැන බැන හිටපු අනිත් අයටත් කියන්න තියෙන්නේ හැම එකටම කෑ ගහන්නේ නැතුව වැරද්දක් තියෙනවනම් හදාගෙන හොඳ දෙකට එකතු වෙමුද?එහෙම උනොත් කියවනවට වඩා යමක් තමන් ලෝකෙට කළා කියලා සතුටක් ලැබෙයි.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ ගෙන්

Categories:

2 Responses so far.

  1. මා සිටින්නේත් ඔබේ අදහසේමයි , විය යුත්තේ එයයි , අයිස්බකට් හෝ මොකක් හෝ ක්‍රමයකින් මේ එකතු කරනනෙ ලෝකයටම පොදුවූ ගැටළුවකට පිළීතුරු සෙවීමේ මගක්. එය නිර්මාණාත්මකව සහ එක්තරා විදියක උපක්‍රමශීලි බවක් ඇති නිසා අද ලොව පුරා යමින් ඩොලර් මිලියන ගණනක් එක් කරන්නට තරම් හැකියාවක් ලැබිලා ,
    අපේ රටේ ඇති වකුගඩු රෝග ගැටළුව වැනි දේ පිළිබඳවත් , නිසි පර්යේෂණ ( රජයට හෝ වෙනත් සංවිධානයකට ඕනෑ ලෙසින් නැතිව) සිදුවනවා නම් , එවන් පර්යේෂණ සඳහා මහජන සයයෝගය අවශ්‍ය නම් අද දවසට ගැලෙපෙන ආකාරයකට ඒ පර්යේෂණ සඳහා මහජන සහයෝගය ලබා ගත යුතුයි , එසේ නොමැතිව ප්‍රසිද්ධිය හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙවන් කටයුත්තකට ආධාර කරන “අයිස් බකට්“ වලට චෝදනා කර කර සිටීමෙන් කිසිදු පළක් වනේනේ නැහැ.
    මේ ගැන මා තැබූ සටහන (http://www.nursinglk.com/2014/08/167-icebucketchallenge.html)
    ස්තුතියි

  2. Dinesh says:

    පිටපත මරු.. මේ දේ විනෝදයක් කර නොගෙන ඒකෙන් මිනිස්සුන්ට හොදක් වෙනවනම් අන්න ඒකයි වටින්නේ.

Leave a Reply